LGBTIQ ප්‍රජාවට එල්ල වන ප්‍රධාන චෝදනාවක් වන්නේ මෙරට සංස්කෘතිය විනාශ කරන බවයි. සමලිංගිකත්වය ආදී සංකල්ප බටහිරෙන් මෙරටට පැමිණි බවත්, එවැනි හැසිරීමක් අතීතයේ සිට මෙරට නොපැවති බවටත් මේ ප්‍රජාවට චෝදනා කරති. නමුත් සැබවින්ම සමලිංගිකත්වය ඓතිහාසිකව රාජාණ්ඩු පාලන සාමයහි සිට මෙරට පැවති බව ඔබ විශ්වාස කරනවද ? එවැනි අතීතයක් මෙරටට පවතින්නේද? පවතී නම් එවැන්නක් ඔප්පු කල හැකි සාධක සාක්ෂි පවතීද? යන්න අද මේ ලිපියෙන් ගවේෂණය කරමි. LGBTIQ ප්‍රජාව තම අභිමානය අභිමානවත්ව සමරන මේ මස තුල මෙරට LGBTIQ ප්‍රජාවගේ අතීතය සොයා යෑම මෙම ලිපියේ ප්‍රධාන අරමුණයි.
මේ සියල්ලට පළමුව අප අවබෝධ කර ගත යුතු කරුණු කිහිපයකි. එනම් මෙරට ඓතිහාසික ග්රන්ථ, වංශකථා ආදී ඇති බහුතරය රචනා කලේ භික්ෂුන් වහන්සේලාය. ඒ නිසාම ගිහි ජිවිතයට අදාළ බොහෝ සිදුවීම් ඓතිහාසික ග්රන්ථයන්හි දක්නට ලැබෙන්නේ අවම ලෙසිනි. නැතහොත් දක්නට නොලැබෙන තරම්ය. මේ නිසාම සමලිංගිකත්වය ආදී සිදුවීම් පිළිබඳ ඓතිහාසික වංශ කතාවල හමු නොවන තරම්ය. එසේම එකල රාජාණ්ඩු පාලන සාමය තුල වර්තමානයට සාපේක්ෂව ඉහළ ලිංගික නිදහසක් පවතින්නට ඇත යැයි විශ්වාස කල හැකිය. ඒ නිසාම සමලිංගිකත්වය හෝ විෂමලිංගිකත්වය ග්රන්ථ තුල සඳහන් කිරීමට තරම් විශේෂ කරුණක් නොවන්නට ඇත. එලෙස ලිංගික සබඳතා පිළිබඳ යම් පමණකට හෝ සඳහන් වන්නේ මෙරටට පැමිණි විදේශිකයින් විසින් රචනා කළ දේශාටන වාර්තා, ලිපි හා පොත්පත් තුලය. ඒ අතරින් රොබට් නොක්ස් සුවිශේෂී වේ.
රොබට් නොක්ස් (1681) විසින් ‘එදා හෙල දිව’ කෘතිය තුල ලංකාවේ ඓතිහාසික සම්බන්ධතා ලේඛනගත කර ඇත. එහිදී ඔහු මෙසේ පවසයි. ”මේ රටේ සෑම වැදගත් මිනිසෙකුටම ඇත්තේ එක් භාර්යාවක් පමණි. නමුත් කාන්තාවකට බොහෝ විට ස්වාමිපුරුෂයන් දෙදෙනෙක් සිටී.” ඒ හා සමානව පෘතුගීසි ඉතිහාසවේදියෙකු වන ජෝ ඕ රිබීරෝ (1685) සිය කෘතියක් වන ‘ෆැටලිඩාඩෝ හිස්ටොරිකා ඩා ඉල්හා ඩි සීලාවෝ’ තුල පවසන්නේ මෙරට විවාහ උත්සවය අවසන් වූ පසු පළමු රැය සිය සැමියාට වෙන් කර ඇති බවත්, දෙවැන්න ඔහුගේ සහෝදරයාටත්, තෙවැනි දිනය ඊළඟ සහෝදරයාටත් මෙලෙස හත්වන රැය දක්වා සහෝදරයන්ට වෙන් කර ඇති බවයි. මේ අනුව එක් බිරිඳක් මුළු පවුලකටම ප්‍රමාණවත් වන අතර ඔවුන්ගේ දේපළ සියල්ලම අතර පොදු වේ. ඒ අනුව පැහැදිලි වන්නේ වර්තමානයට සාපේක්ෂව වෙනස් ලිංගික සදාචාරයක් එකල පවතින්නට ඇති බවය. කෙසේ වෙතත්, දිගු කලක් පැවති බහුවිවාහ චාරිත්‍රය බ්‍රිතාන්‍යයන් විසින් තහනම් කර ඇත. බහු විවාහය යනු රජකමේ වරප්රසාදයකි.
මෙරටට බ්‍රිතාන්‍ය ජාතිකයින් පැමිණෙන විටත් මෙරට සමලිංගිකත්වය පැවතුනි. ඒ පිළිබඳ දේශාටන වාර්තාවල බොහෝ අවස්ථාවල සඳහන් වේ. ජාවො ඞී කොස්තා 1547 නොවැම්බර් 27 ගෝවේ ආණ්ඩුකාරවරයාට ලිපියක් යවමින් සල කර සිටින්නේ සත්වන බුවනෙකබාහු රජු දැඩිව සොදොමි පාපයේ ඇලි ඇති බවයි. එහිදී තවදුරටත් දක්වා ඇත්තේ ”සොදොමි පාපය කොතරම් ප්‍රචලිත යත්, එහි ජීවත් වීමට අපට මහත් බියක් ඇති කරයි. රාජ්‍යයේ මිනිසුන්ගෙන් මේ පිළිබඳ ප්‍රශ්න කරනු ලැබුවහොත්, මෙයට ඔවුන් ප්‍රතිචාර දක්වන්නේ රජු කරන සෑම දෙයක්ම ඔවුන් කරන බවයි. මන්ද එය ඔවුන් අතර සිරිත වන බවයි. ” ඒ කාලයේ සොදොමි යන වචනය බොහෝ දුරට භාවිතා වෙන්නේ සමලිංගිකත්වය හැඳින්වීමටයි.
මේ අතර ‘එදා හෙලදිවයින’ කෘතියේ රොබට් නොක්ස් එවකට මහනුවර රජු ගැන සඳහන් කරමින් මෙසේ පවසයි. ”ඔහුගේ සේවකයින්ගෙන් බොහෝ දෙනෙක් (නියෝජිතයන්* පිරිමි ළමයින් සහ තරුණයින් ය. ඔවුන්ට ලස්සන පෙනුමක් ඇති, උසස් කුල පරම්පරාවකින් පැවතෙන අයයි. දිසාවේලා සහ රටේ මහත්තුරුන්ට මේ පිරිමි ළමයි තෝරා එවන ලෙස ඔහු විසින් අණ කරනු ලබයි. ආකර්ෂණීය පෙනුමක් ඇති, හොඳ කුල පරම්පරාවක් ඇති අය මෙසේ රජ මාළිගාව වෙත එවනු ලබයි. මේ පිරිමි ළමයින්ගේ හිස් බූ ගාන අතර, දිගු හිස කේ පහලට එල්ලේ. ඔහු සොදොමි ගැන වැරදි නොවන අතර, ඒ පාපය ගැන ඔවුන් ගැන සඳහන් වෙනුද මා එතරම් අසා නැත.”
ඉතිහාසවේදීන්ට අනුව බ්‍රිතාන්‍ය ජාතීන් සමලිංගිකත්වය මෙරට තහනම් කරන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ දේශපාලන අවමානයට පත් කිරීමට වන බවයි. Montage of Sexuality කෘතියේ දැක්වෙන පරිදි, ප්‍රකාශ කරන්නේ මෙම නීතිවලට බෞද්ධ හා හින්දු අධිකරණ විද්‍යාවේ පූර්වගාමීන් නොමැති බවයි.
රොබට් ඕල්ඞ්රිච් විසින් ‘යටත් විජිතවාදය සහ සමලිංගිකත්වය’ කෘතිය තුල තර්ක කරන්නේ යටත් විජිතවල පැවති සමලිංගික නැඹුරුව බොහෝ යුරෝපීයයන්ගේ දේශපාලන ආකල්ප හා කලා කෘති කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කළ බවයි. නමුත් ඊට ප්රතිවිරුද්ධව මෙරට ඇතැම් පුද්ගලයින් තර්ක කරන්නේ සමලිංගිකත්වය අපට ලැබුනේ යුරෝපියන්ගෙන් වන බවයි. ලංකාවේ බ්‍රිතාන්‍ය අණ දෙන නිලධාරි හෙක්ටර් මැක්ඩොනල්ඞ් මෙරටදී සමලිංගික සබදතා පැවැත්වුවා යැයි උසස් නිලධාරීන් චෝදනා කිරීම නිසා සිය දිවි නසා ගත් බව සඳහන් වේ.
1893 දී ආචාර්ය ජේකොබස් එක්ස් විසින් L’Art d’aimer aux colons නමින් පොතක් පැරිසියේ ප්‍රකාශයට පත් කරන ලදී. එහිදී ඔහු විසින් යුරෝපීයයන් ඉන්දු චීනයට සමලිංගිකත්වය හඳුන්වා දුන් බව ප්‍රතික්ෂේප කරයි. ඔහු දක්වන්නේ ‘අපකීර්තියට පත් ආසියාතිකයාට මෙම අවුල්සහගත ක්‍රියාවෙහි යෙදීමට කිසියම් පිළිකුලක් දැනේ යැයි කිසිවෙකු නොසිතිය යුතුය’ යනුවෙනි.
සමලිංගිකත්වය පමණක් නොව ප්රශ්නකාරී අනන්‍යතා ඇති පිරිස, හරස් විලාසිතා කරන්නන් ද එකල සිටි බව ‘එදා හෙළ දිවයින’ කෘතියේ සඳහන් වේ. වෙනසකින් තොරව ගැහැණු පිරිමි දෙපාර්ශවයම හිසේ මල් පළදින බව එහි සඳහන් වේ. රේමන්ඞ් ඩෝර්ගල්ස් 1920 දී වෙළදපොළවල් හි සිටි තරුණයින් දැකීමෙන් මොවුන් කාන්තාවන් ද පිරිමින්දැයි හදුනා ගැනීමට නොහැකි වූ බව පැවසේ. පිරිමින් කොතරම් ලස්සනද කියනවා නම් කෙනෙකුගේ බැල්ම රැවටිය හැකියි. මල් සැරසිලි සහිත ඇඳුම් ඇඳීම පිරිමින්ට අලූත් දෙයක් නොවිය. රාජකීයයන් සහ වංශාධිපතියන් ඇතුළු ධනවත් පිරිමින්ගේ හිසකෙස් ආභරණවල සිට ඇඟිලි වළළු දක්වා ශරීරයේ සෑම කොටසක්ම අලංකාර කරන ආභරණ පැළඳ සිටිනු දක්නට ලැබිණි. රංගන ශිල්පිනියන් ලෙස කාන්තාවන්ට රගපෑමට ඉඩ නොදෙන හෙයින්, පෙරහැරේ කාන්තා රංගන ශිල්පීන් ලෙස පිරිමින් හරස් ඇඳුම් ඇඳීම සාමාන්‍ය දෙයක් වී ඇත. පසුකාලීනව සොකරි, කෝළම් ආදී නිර්මාණවලද කාන්තා චරිත රඟ දැක්වුයේ පිරිමින්ය.
එසේම අතීතයේ සිට මෙරට නච්චි නමින් සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාවක් ද වාසය කර ඇත. නමුත් මේ පිලිබදව පැරණි සාහිත්‍යය තුල එතරම් දක්නට නොලැබේ. මෙරට සංක්‍රාන්ති සමජභාවී ප්‍රජාව හැදින්වීමට අතීතයේ භාවිතා කල නච්චි යන යෙදුම නච් යන ඉන්දියානු වචනයෙන් සම්භවය වන්නට ඇතැයි ඇන්ඩ්‍රියා නිකල්ස් සදහන් කරයි. එසේම එම වචනය ඉන්දියාවේ සිටි ආධුනික නර්තන ශිල්පීන් / ලිංගික ශ්‍රමිකයන් හැදින්වීමට භාවිතා කර ඇත. එබැවින් ශ්‍රී ලංකාවේ නච්චි අනන්‍යතාවය ඓතිහාසිකව වර්ධනය වී ඇත්තේ පුරුෂයින් විසින් ප්‍රසිද්ධියේ කාන්තා චරිත රඟ දැක්වීමේ දී හෝ ලිංගික වැඩවලින් විය හැකි බව ඇන්ඩ්‍රියා නිකල්ස්ගේ අදහසයි. බොහෝ නච්චිවරු විශ්වාස කරන්නේ ඔවුන් කාලි දේවතාවිය විසින් ආශීර්වාද කර ආරක්ෂා කර ඇති බවයි. මෙය ඉන්දියාවේ බාහුචාර මාතා වන්දනා කිරීමට සමාන විය හැකිය. කාලි දේවතාවිය යනු දුර්ගා දේවතාවියගේ දරුණු ස්වරූපයයි. විෂමලිංගික දේවතාවියකි.
කාන්තා සිට පිරිමි බවට පත් වූ (FTM) සංක්‍රාන්ති සමජභාවී පුද්ගලයින් සම්බන්ධයෙන් විශේෂ දෙවියෙකු, විශේෂ උපභාෂාවක් හෝ කිසිදු සංස්කෘතික පිළිවෙතක් හමු නොවන අතර ශ්‍රී ලංකාවේ එෆ්ටීඑම් සංක්‍රාන්ති ලිංගිකයින්ගේ ඉතිහාසය පිළිබඳ තොරතුරු සොයා ගැනීම ඉතා අපහසුය. එෆ්ටීඑම් සංක්‍රාන්ති ලිංගිකයන් පිළිබඳව ඉතිහාසය මෙතරම් නිහඬ වන්නේ ඇයි? සහ ඉතිහාසය පුරාම ඔවුන් නොසිටියේද? යන්න ප්රශ්නකාරිය. ශ්‍රී ලංකාවේ එෆ්ටීඑම් සංක්‍රාන්ති ලිංගිකයින් කිසිවෙකු නොසිටියේ යැයි සිතීම යුක්ති සහගත යැයි අපි නොසිතමු, නමුත් ඔවුන්ගේ අනන්‍යතාවයන් සමාජය විසින් ඓතිහාසික ලියකියවිලි වලින් බැහැරව තබා ඇත. බොහෝ විට එයට සමාජයේ පැවති දැඩි පුරුෂමුලික ආකල්ප හේතුවන්නට ඇතැයි විශ්වාස කෙරේ. කෙසේ වෙතත් ඉන්දියාවේ සිටි සංක්‍රාන්ති සමජභාවී හිජ්රා ප්‍රජාවට පවතී තරම් බලයක් මෙරට සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවට හිමි නොවිය.
මෙම ඓතිහාසික ලේඛන හරහා පැහැදිලි වන්නේ අතීතයේ සිට මෙරට සමලිංගිකත්වය, සංක්‍රාන්ති සමාජභාවය ආදී ප්‍රජාවන් ජිවත් වී ඇති බවයි. නමුත් එම ලිංගික අනන්‍යතා හා දිශානතීන් සමාජයේ විරුද්ධත්වයකට ලක් නොවන්නට ඇත. එකී ලිංගික අනන්‍යතා හා දිශානතීන් ප්‍රශ්න කරන සංස්කෘතියක් ගොඩ නැගෙන්නේ මෙරට යටත්විජිතකරණයට ලක් වීමත් සමගිනි. බ්‍රිතාන්‍ය ජාතිකයින් මෙරට සමලිංගිකත්වය නෛතිකව තහනම් කරන්නේ එය මෙරට දේශීය සංස්කෘතියේ පැවති නිසාත්, එය බටහිර ආගමික සංස්කෘතියට පටහැනි වූ නිසාත්ය. ඒ අනුව LGBTIQ ප්‍රජා අනන්‍යතාව දේශීය සංස්කෘතිය තුල තිබෙන්නට ඇතැයි විශ්වාස කිරීම යුක්ති සහගතය.
හසිනි ජයමිණි